Saturday, January 12, 2013

කුරුල්ලන් කළ භූමිදානය



චීනයේ චියැං ප්රාන්තයේ දිළිඳු දුෂ්කර ගම්මානයක කුඩා පැල්පතක සුන් ලියාන් නමැති තනිකඩ මනුෂ්යයෙක් වාසය කෙළේය. ඔහු අන්ත අසරණ දිළින්දකු වුවද ඉතා අවංක සත්ව කරුණාවෙන් අගතැන්පත් පුද්ගලයෙක් වූයේය. තැන් තැන් වල ගොස් කුලී වැඩ කොට යන්තම් වේල පිරිමසා ගැනීමට මිස යමක් ඉතිරි කරගැනීමට ප්රමාණවත් ආදායමක් ඔහුට නොලැබුණි. යන එන අතරමගදී කොතැනක හෝ කූඩුකොට ඇති පක්ෂීන් හෝ වෙනත් සතුන් හෝ දකින ඔහු මහත් සේ දුක්වෙයි.

එවන් අවස්ථාවල තමාගේ ආහාරවේල සඳහා තබාගෙන ඇති මුදල පවා වැයකොට එසේ හිරකොට තබාගෙන සිටින ප්රාණීන් කැලෑවට ගෙනගොස් මුදාහැරීම ඔහුගේ විනෝදාංශය විය.

මේ ආකාරයට ඔහු දීර්ඝ කාලයක් තිස්සේ පක්ෂීන් සහ වෙනත් සිවුපාවුන් විශාල ප්රමාණයක් අභය දානයට ලක්කරන ලදී. මේ නිසා සුන් ලියාන්ට වයස්ගත වනතුරුත් දිළිඳු කමින් අත්මිදීමට නොහැකි විය.කල්යත්ම කුලීවැඩක් පවා කිරීමට නොහැකි තත්ත්වයට ඔහුගේ කාය ශක්තිය පිරිහීයාමෙන් අනතුරුව ජීවිතය රැක ගැනීම සඳහා සිඟමන් යැදීමට ඔහුට සිදුවිය. ඔහුගේ වයස අවුරුදු හැත්තෑව ඉක්ම වූ විට ඇදෙන් බැස ගැනීමට වත් නොහැකි තත්ත්වයට පත් විය. මෙසේ වැඩි කලක් ගතවෙන්ට පෙර ඔහු අභාවප්රාප්ත විය.

සුන්ලියාන්ට කිසිදු මිත්රයෙක් හෝ නෑදැයෙක් හෝ ඔහු ගැන සොයා බැලීමට කෙනෙක් හෝ නොවීය. ඔහු අන්ත දූගීභාවයේ සිටීම එයට හේතුව වන්නට ඇත.

ඔහුගේ මළ සිරුර භූමිදාන කිරීම සඳහා මිනීපෙට්ටියක් පවා මිලදී ගැනීමට තරම්වත් මුදල් ශක්තියක් ඔහුට නොවීය. එවකට චීන සම්ප්රදායේ හැටියට යමෙක් මළ පසු දේහය භූමිදානයට මිනී පෙට්ටියක් වත් මිල දී ගැනීමට නොහැකි වීම ඉතා බරපතල අවාසනාවක් සේ ගණන් ගැණිනි. ඔහුගේ අසල්වැසියෝද ඔහු මෙන්ම අන්ත දුගී බවින් මිරිකී සිටීම නිසා තම අසල්වැසියාට මිනී පෙට්ටියක් සැපයීමට වත් ඔවුන්ටද ශක්තිය නොවීය.

එදා හිමිදිරි පාන්දරම සුන් ලියාන් ජීවත් වූ පැල්පත තුළ විශාල ලෙස පක්ෂීන් කෑ ගසමින් කලබල කාරීව සැරිසරනු දුටු අසල්වාසීහු මවිතයට පත් වූහ. දහස් ගණනික් වූ විවිධ වර්ගවලට හා විවිධ වර්ණ වලට අයත් පක්ෂීන් පැල්පතට පියාඹනු දුටු අසල්වැසි පිරිස එහි ගොස් බැලූ විට දැනගන්ට ලැබුණේ ගත වූ රාත්රි කාලයෙහි ඔහු නිදි යහනේම මිය ගොස් තිබුණ බවය. මේ සා විශාල පක්ෂි සමූහය මේ මරණය අසලට පියාඹා එන්නේ මිය ගිය අයගේ මස් ගොදුරු කර ගැනීමට යයි ඔවුහු අනුමාන කළහ. එහෙත් තවදුරටත් සෝදිසි කිරීමේදී දැකගත හැකිවූයේ නොසිතූ® විරූ අරුම පුදුම දර්ශනයකි.

සෑම පක්ෂියකුම තම හොටය පුරා පුරවාගත් ගං ඉවුරේ සුදුවැලි පස් ගෙනවුත් මෘත ශරීරය මතුපිටට හෙළන බවය. දහස් ගණන් වූ කුරුළු සමූහය වහ වහා ගං ඉවුර වෙත පියාඹා ගෙනෙන ලද පස්වලින් මුළුදේහය ඇදත් සමගම වැසී ගියේය. අසල්වැසියෝ මවිතව මේ අපූර්ව දර්ශනය නැරඹූහ.

විශාල ලෙස තම වර්ගයා මරණින් මුදා ගත් පින්වතාට කෘතගුණ සැලකීමට වනවාසී සියලුම පක්ෂි සමූහයා අද්භූ® ලෙස මෙසේ සහභාගි වීම අරුමයක් ලෙස ගැමියෝ දුටුවහ.

එදින දවසේ දිවාභාගය ගතවීමට ආසන්න වෙනවාත් සමගම සුන් ලියාන්ගේ දේහයත් සමගම මුලු පැල් පතම පවිත් සුදුවැලි කන්දක් බවට පත් විය. එය නව මාදිලියේ සොහොන් ගැබක් බවට පත් වූ විට කුරුළු සමූහයා ශෝකජනක නාද නගමින් වනය දෙසට ඉගිල ගියහ.

මේ අද්භූත සිදුවීමෙන් පසුව එගම වැසියෝ විකිණීම සඳහා කුරුල්ලන් හා වෙනත් සතුන්ට උගුල් ඇට වීම සහ දැල් ගැසීම සම්පූර්ණයෙන්ම නතර කළෝය. කූඩුවල සතුන් හිරකරගෙන සිටීමද අත්හැර දැමූහ. සත්ව හිංසාවෙන් තොරවීම හේතු කොටගෙන වැඩිකලක් ගත වීමට පෙර ගම්මානයේ ප්රබෝධයක් ඇතිවිය. දිළිඳුබව තුරන් විය.

Love of Life ඇසුරෙන් සකස් කැරිණි

No comments:

Post a Comment

Free HTML Blog 4u